නිල්පතක් නැතිව කෞතුකාගාරයක් ගොඩ නැගීම- Sinhala
Share
කොළඹදී, ශාර්මිණී පෙරේයිරා සමකාලීන කලාව සඳහා වන කෞතුකාගාරයක් යළි පරිකල්පනය කරන්නේ, පූර්වාදර්ශයක් නොමැතිවුවත්, එවැන්නක් නිර්මාණය කිරීමට ඇති බොහොමයක් ඇති හෙයිනි.
Byline: නම්රාටා දේවාන්ජි

කලාව තිබෙන්නේ කා සඳහා ද? “ශ්රී ලංකාව ගත් කල, ජනගහණයේ අතිශය පටු කොටසකට පමණක් කලාව වෙන් වී තිබී ඇති අතර, එහි අරමුණ විශාල වශයෙන් අර්ථ ගැන්වී ඇත්තේ එහි පිරිවැය මගින් පමණයි” යැයි ශාර්මිණී පෙරේයිරා අපට පවසයි. සියවස් ගණනාවක කලා ඉතිහාසයක් ඇති රටක, කලා ප්රදර්ශන කෙතරම් දුර්ලභ ද යන්න සහ, මෑතක් වන තුරු ම සමකාලීන කලාව සඳහා වෙන් වූ එකඳු කෞතුකාගාරයක්වත් නොතිබීම පුදුම සහගතය. කිසිම දිනෙක එයට බාධකය වූයේ ශ්රී ලංකාවට නොඅඩුව ම තිබුණු පුද්ගල දක්ෂතාවය නොවෙයි. “අඩුපාඩුව වුණේ කෞතුකාගාරය සහ පුහුණුව පමණයි” යැයි ඇය සඳහන් කරයි.
කොළඹ නූතන හා සමකාලීන කලා කෞතුකාගාරයේ (MMCA) ප්රධාන අභිරක්ෂක ලෙසත්, එමෙන් ම එහි ව්යාපෘති අධ්යක්ෂක සහ සංවර්ධන ප්රධානී ලෙසත් ශාර්මිණී පෙරේයිරා අදහස් කරන්නේ මේ වටා ගොඩ නැගුනු නීති රීති යළි ලිවීමටයි. ඇය කලාව සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැළකීම ප්රතික්ෂේප කරන අතර ඒ වෙනුවට එය බෙදාගත් සංස්කෘතික අවකාශයක් ලෙස රාමුගත කරයි. ඇය විස්තර කරන පරිදි, ඇයගේ භූමිකාව දූර්දර්ශී මෙන් ම අවශ්ය පහසුකම් සැපයීමට කැපවුණු එකක් වේ. එනම්, කලාකරුවන්ට, ප්රේක්ෂකයින්ට, සහ ප්රජාවන්ට දියුණුවීමට අවශ්ය වපසරිය නිර්මාණය කරන අතරතුර කෞතුකාගාරයේ කලාත්මක දිශානතිය හැඩගැස්වීමයි.

නිර්භීත හඬක්
2019දී ආරම්භ කළ MMCA ආයතනය සාම්ප්රදායික කෞතුකාගාරයකට වඩා යමක් වීමට අරමුණුකර ගත්තේ ය. කලාකෘතීන් ප්රදර්ශනය කිරීමට ම පමණක් සීමා නොවී රට පුරා කලා අධ්යාපනය ශක්තිමත් කිරීම උදෙසා, කෞතුකාගාරය විසින් දැනුම සහ වෘත්තීය ජාල නිර්මාණය කරයි. එහි ප්රදර්ශන සහ වැඩසටහන් බොහෝ විට දැවෙන සිවිල් ගැටළු සඳහා කලාව කාචයක් බවට පත්කරයි. උදාහරණයක් ලෙස, ‘අක්කර 88’ ප්රදර්ශනය (2023 නොවැම්බර් 30 – 2024 ජූලි 7) නිවාස, ආර්ථිකමය ලෙස දැරිය හැකි බව, සහ ප්රජාව පිළිබිඹු කරමින් මිනෙට් ද සිල්වාගේ වටපුළුව නිවාස යෝජනා ක්රමය දෙස නැවත බැලූ අතර, 2025 මැයි මාසයේදී නීතීඥ භවානි ෆොන්සේකාගේ දේශනය ශ්රී ලංකාවේ ගොඩගැසී ඇති ඇති ඉඩම් ආරවුල් හෙළිදරව් කළේ ය. මෙම ව්යාපෘති කෞතුකාගාරය මධ්යස්ථ ප්රදර්ශන අවකාශයක් ලෙස නොව සංවාද සඳහා වූ පොදු වේදිකාවක් ලෙස ස්ථානගත කරයි.
MMCA ආයතනය රාජ්ය මුදල් ලබා නොගන්නා නිසා, ඉහත සඳහන් වැඩසටහන්වල දක්නට ලැබෙන ඉඩම් සහ දේශපාලන සංකීර්ණතා වැනි, අනෙකුත් ආයතන බොහෝ විට මග හරින ප්රශ්න ගවේෂණය කිරීමට එයට හැකි වෙයි. “කලාකරුවෝ උද්ඝෝෂකයෝ ය. පෞද්ගලික ආයතනයක් වීම නිසා අපට අත්හදා බැලීමට, අවදානම් ගැනීමට, සහ සමාජ සහ දේශපාලනික යථාර්ථයන්ට ඉක්මනින් ප්රතිචාර දැක්වීමට ඉඩ ලැබෙනවා,” යැයි ශාර්මිණී පැහැදිලි කරයි. නමුත් නිදහසත් සමඟ වගකීමත් පැමිණෙන අතර, ප්රජාවන්ට ගරු කරන අතරේ අත්යවශ්යකතාවය උනන්දු කරවමින්, විවාදය හරහා අවබෝධයට මග පෑදීම එවැනි වගකීමකි.
මෙම වගකීම රඳා පවතින්නේ විනිවිදභාවය සහ වගවීම මතය. MMCA ශ්රී ලංකා සම්පත් භාවිතය පිළිබඳ පරිත්යාගශීලීන් සමඟ විනිවිදභාවයකින් කටයුතු කරන අතර, කලාකරුවන් සාධාරණ ලෙස නියෝජනය කරනවා සේ ම, අදාළ සහ අර්ථවත් ලෙස වැඩසටහන්කරණයට කැපවී සිටියි. සියලු ම කෞතුකාගාරවල් මූල්ය තිරසාරභාවය සහ අභිරක්ෂක වගකීම අතර ඇති ආතතිය දරාගත යුතු වුව ද, MMCA හීදී, ඒකාග්රත්වය කිසි විටෙක ප්රශ්න නොකෙරෙන බවත්, ප්රදර්ශන කිසි විටෙකත් ප්රවණතාවන්ට අනුව හැඩ ගැසෙන්නේ හෝ අනුග්රහකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා තත්ත්වයෙන් බාල කෙරෙන්නේ හෝ නැති බවත් ශාර්මිණී අවධාරණය කරයි.

අධ්යාපනික සත්කාරය
“පෞද්ගලිකව අරමුදල් සැපයෙන නිසා, අපගේ ආකෘතිය ගනුදෙනුකාරී නොවන බව පෙන්වීමත්, අප පොදු මහජනයා සමග කරන කටයුතු කිසිවිටකත් අතහැර නොගැනීමත් ඉතා වැදගත් වෙනවා,” යැයි ඇය අවධාරණය කරයි. ඔවුන්ගේ ප්රේක්ෂකයින් සමඟ ගනුදෙනු කිරීමේදී මෙන් ම, ඔවුන්ගේ කාර්යය අදාළ සහ අර්ථවත් එකක් කිරීම සඳහා ‘හෘදයාංගම වීම’ යන ගුණය ඉතා වැදගත් වෙයි. මෑත වසරවලදී MMCA විසින් ගුරුවරුන්ව මෙම කෞතුකාගාරය පන්ති කාමරයක් ලෙස සැලකීමට දිරිමත් කර ඇති අතර, එහිදී පාසල් පදනම් කරගත් ඉගෙනුමට සහය වන සම්පතක් බවට කෞතුකාගාරය පත්වෙයි. මෙම ප්රවේශය සාමාන්ය පෙළ හෝ උසස් පෙළ කලා විෂයයන්වලින් ඔබ්බට විහිදේ. එය ඉංග්රීසි, ඉතිහාසය, හෝ විශ්ලේෂණාත්මක චින්තනයෙන් ප්රයෝජන ලබන වෙනත් විෂයයන් ඉගැන්වීමට ක්රියාකාරී ලෙස සහය වන අතර, පුළුල් අධ්යාපන සංවර්ධනය සඳහා සහකරුවෙකු ලෙස ස්ථානගත වේ.
ප්රේක්ෂකයින්ගේ දැනුම, ඉදිරිදර්ශන, සහ ප්රශ්න මැනවින් අවබෝධ කරගෙන ඇති කෞතුකාගාරය, ඒවා සිය ප්රදර්ශන සහ වැඩසටහන් හැඩගැස්විය හැකි ක්රියාකාරී දායකයින් ලෙස හඳුනා ගෙන ඇත. තවමත් කෞතුකාගාරයක් ලෙස නිර්මාණය වෙමින් පවතින නිසා එයට තව බොහෝ දුරක් යාමට ඇති බවත්, ඉදිරි ව්යාපෘති සහ ඒවායේ ව්යාපෘති කණ්ඩායම් හරහා මෙම අවබෝධය තවදුරටත් ගොඩනැගීම දිගට ම සිදු කරගෙන යන බව ශාර්මිණී සඳහන් කරයි.

කලාවට ප්රවේශ වීමට ඉඩ සැලසීම
පොදු කලා සඳහා සීමිත යටිතල පහසුකම් ව්යූහයක් ඇති රටක, කලාකරුවන්ට සහයෝගය ලබාදීමේ සිට ප්රතිපත්ති හැඩගැස්වීම දක්වා MMCA විසින් “හැකි සියල්ල ම කළ යුතු” බව ශාර්මිණී බොහෝ විට සිතයි. මෙය පහසුවෙන් ඉටුකිරීම සඳහා, කෞතුකාගාරය විසින් ගෝලීය හවුල්කාරීත්වයන් සහ දේශීය පුහුණුව යොදාගෙන පුද්ගල ධාරිතාවය ගොඩ නගයි. ඔවුන්ගේ කෞතුකාගාර තීව්ර මාලාව රාජ්ය හා පෞද්ගලික කලා සංවිධානවල වෘත්තිකයන් සන්නද්ධ කරන අතරතුර, සංවාද සහ ප්රජා සබඳතා අධිශිෂ්යත්වය උතුරු, නැගෙනහිර, සහ ඌව යන පළාත්වල වෘත්තිකයන්ව සිවිල් සංවාද සහ ගැටළු නිරාකරණය සඳහා මෙවලමක් ලෙස කලාව භාවිතා කිරීමට බලායනය කර ඇත. මෙම මුලපිරීම් විසින් විවාදයේ දිගුවක් ලෙස ක්රියාකාරකම් ප්රවර්ධනය කරන්නේ, සිදු විය යුතු කර්තව්යයන් ඉටුකල හැකි අන් අයව ද පුහුණු කරවිමිනි.
ස්ථාපිත නිල්පතක් නොමැතිව නිසා, MMCA විසින් තමන්ගේ ම නීති සහ මාර්ගෝපදේශක ප්රතිපත්ති සකස් කරගෙන ඇත. අනෙක් කෞතුකාගාර අනුගමනය කරනවා වෙනුවට ප්රේක්ෂකයින්ට සවන් දීමෙන්, කලාකරුවන්ගේ හඬ විකාශනය කිරීමෙන්, සහ සංස්කෘතික හිඩැස් පිරවීමෙන් MMCAය එහි සන්දර්භයෙන් වර්ධනය කර ගනියි. නොමිලේ ඇතුළුවීමට ඇති හැකියාව, රැඳී සිටීමට ඇති නිදහස, සහ පීඩනයෙන් තොර පරිසරය ඒවා කෞතුකාගාරය වඩාත් ප්රසන්න කරයි. එහි පළමු පොදු නිවහන වූයේ සුඛෝපභෝගී වීදියක ගැලරි අවකාශයක් නොව, කාර්යබහුල සාප්පු සංකීර්ණයක් වන කොළඹ ක්රෙස්කැට් බූලේවාර්ඩ් ය. නරඹන්නන්ට කලාව හමු වූයේ ඔවුන්ගේ දෛනික චර්යාවේ කොටසක් ලෙස, බොහෝ විට අහම්බෙන්ය. එම සාමාන්ය, අසාම්ප්රදායික අවකාශය තෑග්ගක් බවට හැරිණි: එය “නිසි” කෞතුකාගාරවල ඇති නීති ඉවත්කර, කුතුහලයට ප්රමුඛත්වය ගැනීමට ඉඩ සැලසුවේ ය. දොරවල් නැති, පිළිගැනීමේ මේසයක් නැති, ප්රේක්ෂකයින්ට හුස්ම ගැනීමට සහ ගවේෂණය කිරීමට හැකි විවෘත අවකාශයක් පමණක් වූයේ ය.
“සෙල්ෆී ගැනීමට නතර වීම, රැඳී සිටීම, ප්රශ්න ඇසීම, අපගේ බාහිර අධ්යාපනඥයින් සමඟ කතාබස් කිරීම, සහ කිහිප වතාවක් නැවත නැවත පැමිණීම වගේ දේවල් සිදු කරමින්, මිනිස්සු අපේ කෞතුකාගාරයට සැලකුවේ එදිනෙදා ජීවිතයේ දිගුවක් විදිහටයි,” කියා ශාර්මිණී සිහිපත් කරයි. මෙම පිළිගැනීම, භාෂාව හරහා ද ව්යාප්ත විය. සෑම ලේබලයක් ම, පාඨයක් ම, සහ ඩිජිටල් සම්පතක් ම ඉංග්රීසි, සිංහල, සහ දමිළ යන භාෂා ත්රිත්වයෙන් ම තිබේ. බහු භාෂාමය රටක බිත්තිය මත තමන්ගේ භාෂාව දැකීම, සබකෝලය තුරන් කරමින් සහ ගැඹුරු නිමග්නවීම ප්රවර්ධනය කරමින්, අයිතියාව සහ ගෞරවය ඇති කිරීමට ඇති බලවත් ක්රමයකි. තව ද, කෞතුකාගාරය හැකිතාක් පුළුල් ප්රේක්ෂක පිරිසකට විවෘත බව සහතික කරන අතර, ඇතුළට පිළිගන්නේ කාව ද සහ පිළි නොගන්නේ කාව ද යන්න පිළිබඳ අදහස් අභියෝගයට ලක්කරයි.
වාස්තු විද්යාත්මක හෝ, සමාජයීය හෝ, භාෂාමය හෝ වේවා, දැඩිබවේ ස්ථර ඉරා දැමීමෙන්, MMCAය සිදු කරන්නේ කලාව ජීවත් වීමට, ස්පර්ශ කිරීමට, සිතීමට, සහ නැවත පැමිණීමට හැකි යමක් බවට පත් කිරීමයි. අයිතියාව සහ ගවේෂණය කිරීමේ නිදහස ප්රමුඛතාවයේ තබමින්, මෙම පාඩම්, ඉක්මනින් විවෘත කිරීමට නියමිත ස්ථීර කෞතුකාගාරය හැඩගස්වනු ඇත.
ශ්රී ලංකාවේ සමාන්තර පිළිවෙත්
සිය මුල් ගමන ආවර්ජනය කරමින්, ඇය කෞතුකාගාරය 1980 සහ 90 දශකවල කලා ලෝකයට ප්රතිවිරුද්ධව ස්ථානගත කරයි. “ලොවට ඇසුනේ නැති සහ පෙනුනේ නැති කලාකරුවන් නියෝජනය කිරීම පිළිබඳ හා, ප්රවේශ්යතාවය පිළිබඳ වටිනාකම්වලින් මාව මෙහෙය වුණා. අවුරුදු තිහකට කලින් ලෝකය වෙනස් තැනක් වුණා; [ආසියා පැසිෆික්] කලාපයේ කලාකරුවන් විශාල වශයෙන් නොසලකා හැරුණා.” මෙම ආඛ්යානය වෙනස් කිරීමට ශාර්මිණීට අවශ්ය විය. ඇගේ අභියෝගය වූයේ කලාත්මක හඬවල් සඳහා සහය වන්නේ කෙසේ ද, ඒවා මහජනයාට ලබා දෙන්නෙ කෙසේ ද, සහ එසේ කරමින් වූවද ස්ථාපිත ආයතනවලින් ස්වාධීනව සිටින්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමයි.
MMCAහී ඇයගේ කාර්යයට අමතරව, ප්රවේශ්යතාවයට සහ නියෝජනයට වෙනුවෙන් ශාර්මිණීගේ කැපවීම නිසා, ඇය 2008දී ජාත්යන්තර බෙදාහැරීම සඳහා පොත් ලිවීමට කලාකරුවන්ට නිර්මාණ පවරන, ලාභ නොලබන සංවිධානයක් වන Raking Leaves ආරම්භ කළා ය. මෙම ප්රකාශනවල ව්යාප්තිය සහ පොත් ලෙස ඒවායේ ආකෘතිය හරහා, ගැලරිවල සීමිත බව මඟහරිමින් කලාව ලොව පුරා මිනිසුන්ගේ දෝතට ම ගෙන යාමට මේවාට හැකි විය.
ශ්රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ අවතැන්වීම් පිළිබඳ වාචික ඉතිහාස වාර්තා කළ, දැනට විකිණී අවසන් වුණු, ටී. ශනාතනන්ගේ The Incomplete Thombu (2012) සහ, විසංවාදයේ භාෂාව ලැයිස්තුගත කළ The A–Z of Conflict (2019) නම් පොත්, සංකීර්ණ ඉතිහාසයන් ප්රවේශ විය හැකි සහ ආකර්ෂණීය ආකෘතීන් බවට පරිවර්තනය කළේ ය. මෙම ප්රජාතන්ත්රවාදී දිශානතිය හරහා, පාඨකයන්ට, කලාකරුවන්ට, ශිෂ්යයන්ට, සහ මහජනතාවට, සාමාන්යයෙන් මතකයට නංවා ගැනීමට අපහසු සංස්කෘතික ගමන් පථයන් දැකීමට සහ ඒවා හා සම්බන්ධ වීමට හැකි වේ.
2013දී ශාර්මිණී ටී. ශනාතනන් සහ පී. අහිලන් සමඟ එක්ව යාපනයේ ශ්රී ලාංකේය සමකාලීන කලා, වාස්තු විද්යා සහ පිරිසැකසුම් ලේඛනාගාරය පිහිටවූහ. දශක ගණනාවක යුද්ධයෙන් තවමත් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නගරයක පිහිටා ඇති එය පර්යේෂණ, සංවාද, සහ හුවමාරුව සඳහා පහසුකම් සපයන පොදු සම්පතක් සහ අධ්යාපනික අවකාශයක් ලෙස ක්රියා කරයි. එකිනෙකාගෙන් ස්වාධීන වුව ද, ආයතන තුන සමග ශාර්මිණීට ඇති සම්බන්ධතාවය ඇයගේ අභිරක්ෂක පරිචය ආවේදනය කරන අතර, MMCA කෞතුකාගාරය එහි සන්දර්භය තුළ මුල් බස්වන වැඩසටහන් සහ තීරණ හැඩගැස්වීමට එම සම්බන්ධතාවය ඇයට උපකාරී වේ.

ගෝලීය පිළිගැනීම කරා යාම
MMCA ශ්රී ලංකා ඇත්තේ සූක්ෂම කටයුතු කළ යුතු භූමිකාවක ය.මන්ද, එය ජාතික වගකීමක් ඇති පෞද්ගලික කෞතුකාගාරයකි. ගෝලිය පිළිගැනීම සතුටුදායක වූවද ශාර්මිණී එය වැළඳගන්නේ පරිස්සමිනි. “MMCA ශ්රී ලංකා, ශ්රී ලංකාවේ සියලු ම සමකාලීන කලාවන් ‘නියෝජනය’ නොකරන බව අපි ඉතා හොඳින් දන්නවා. එය අභියෝගයට ලක්කිරීම සඳහා අපගේ භූමිකාව භාවිතා කිරීම පිළිබඳ අපි වඩාත් උනන්දු වෙනවා.”
අභියෝගය ආරම්භ වන්නේ අර්ථ දැක්වීම් සමඟිනි. ශ්රී ලාංකික කලාකරුවෙක් යනු මෙරට ජීවත් වන සහ වැඩ කරන කෙනෙක් ද, නැතහොත් ඔවුන්ට විදේශයකින් වුවද පැමිණිය හැකිද? ඔවුන්ට ශ්රී ලාංකික ගමන් බලපත්රයක් තිබිය යුතු ද, එසේත් නොමැති නම් ඔවුන්ව ඩයස්පෝරාව විසින් හැඩගැස්විය හැකි ද? ඔවුන්ගේ කලාකෘතිවල ශ්රී ලංකාව පැහැදිලි ලෙස සඳහන් කළ යුතු ද? “මෙම ප්රශ්නවලට හොඳ ම පිළිතුරු ලැබෙන්නෙ වැඩසටහන්කරණය හරහායි,” යැයි ඇය තර්ක කරයි. “අපි කරන ව්යාපෘති හරහා මේ ප්රශ්න ආමන්ත්රණය කරමින්, අපි කලාකරුවන්ට තමන් වෙනුවෙන් කතා කරන්න ඉඩ හරිනවා. අඛණ්ඩවම සිදු කෙරෙන වැඩසටහන් නිශ්චලව පවතින්නේ නැති නමුත්, කලින් සිදු වූ වැඩසටහන්වලට ප්රතිචාර දක්වනවා. මට නම් ප්රමුඛතාවය වෙන්නේ අපි ඉදිරිපත් කරන කලාකෘති සහ කතාන්දර ශ්රී ලංකාවේ ප්රජාවන්ගේ යථාර්ථයන් තුළ සහ කලාත්මක භාවිතයන් තුළ ස්ථීර ලෙස පදනම් වී ඇති බව සහතික කිරීමයි.”
කෞතුකාගාරයේ අරමුණ විශ්මය දැනවීම නොව සහභාගීත්වයයි. “තැති ගැන්වීම හෝ තොරතුරු අධික ලෙස පැටවීම වෙනුවට, අපට අවශ්ය වන්නේ පුදුමය, සතුට, සහ සංවාදයේ ඇති ඒ සියලු වැදගත් අංගයන් ඉස්මතු කිරීමටයි. අපිට ඕන මිනිස්සු මෙතනින් පිටවෙලා යද්දි තමන්ගේ ඊළඟ කෞතුකාගාර සංචාරය ගැන වගේ ම කාට ද තමන්ගේ මේ අත්දැකීම ගැන කියන්නෙ කියල හිතමින් යන්නයි,” යැයි ශාර්මිණී කියයි. MMCA ශ්රී ලංකාහට ඉදිරියේ කිරීමට ඇති කාර්යය පැහැදිලිය: එනම් ශ්රී ලංකාවේ කලාව තවදුරටත් සීමා නොවී, සම්බන්ධ වීමට කැමති සෑම දෙනාට ම විවෘත වන වග සහතික කිරීමයි.